Tuesday, 26 May 2015

ජීවන විපර්යාස




ගෙදර අගහිඟ පියවන්න


බ්ලොක් ගලින් ගෙයක් තනන්න


රියාල් රැස්කර එවන්න


වෙනෙකෙකුගෙ පුතු නලවන්න


අපෙ කිරිසප්පයා වැලඳ වැලපී


මගෙ වස්තුව ගියේ දෑවුරුද්දකට


 


ගිය දින පටන් නුඹ


පෙරලා එන දින ඉලක්කයකර


ඇඟිලි ගැන්නා නේද මුල්දින


ස්කයිප් වයිබර් නැති අපිට


ලැබුන ලිපිවල තිබුනෙ සහනය


 


සතිපතා ලැබුන ලිපි දහර


කෙමෙන් වියලුනත් අතරතුර


නුඹ එවූ අලුත් මොබයිලය


පිහිටවුනි අපෙ කොලුවට


මව වයිබරෙන්වත් දකින්නට


 


දිගු වරලසත් කෙටිවී


ඇඳුම් පැලඳුම් වෙනස්වී


ආදර වදන් ගිලිහී


නුඹෙ ගතෙ තෙහෙට්ටුවට


මටම දොස් පැවරී


 


දෑවුරුද්දකුත් ගතවී


ස්කයිප් වයිබර්ද ඇනහිටවී


තම පොඩි පුතුත් අමතකවී


නුඹ අරාබියටමවී


වෙනෙකෙකුගෙ අනියම් බරිඳවී


 


මං පලන්චියකින් වැටී


කොඳු ඇට දෙක තුනට කැඩී


පැදුරටම කොන්වී


කිසිම හව්හරනක් නොමැතිවී


කොලු පැටියත් ලමා නිවසට යැවී


 


සමාවෙයන් මගෙ රන් කඳ


නුඹ නැවත එදින


අත්පා වාරු නැති මට


නොහැකිවුනි පැමින නුඹ


කරපිටින් ගෙනියන්ට


අනියම් පෙමක වරදට


ශරියා නියාමය අනුව


ගිලිහුනු ගෙල රහිත


නුඹේ අජීව මළ කඳ


 
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment